රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

23rd April 2024 21:46

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වෙත සාදරයෙන් පිළිගනිමු

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ස්ථාපනය කර ඇත්තේ 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මගිනි.කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්ය වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ iv වන පරිච්ඡේදයේ ඇතුළත් මතු කියවෙන භාෂා අයිතිවාසිකම් හා සම්බන්ධ ප්‍රතිපාදනයන් නියාමනය හා අධීක්ෂණය කිරීමයි.

රාජ්‍ය භාෂා / සන්ධාන භාෂා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය. 1978 - 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන අතර ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය.

ජාතික භාෂා

සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ/ පළාත් සභාවක මන්ත්‍රීවරයෙකුගේ/ පළාත් පාලන ආයතන සභිකයෙකුගේ අයිතිය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පළාත් සභාවක මන්ත්‍රීවරයෙකුට හෝ පළාත් පාලන ආයතන සභිකයෙකුට පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ හෝ පළාත් පාලන ආයතනයේ ජාතික භාෂා දෙකෙන් කවර භාෂාවකින් වුවද තමාගේ කාර්ය ඉටුකරගැනීමට හිමිකමක් ඇත්තේය.

ඉගැන්වීමේ මාධ්‍ය

යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපනය ලබා ගැනීමේ හිමිකම ඇත්තේය.කවර වූ හෝ උසස් අධ්‍යාපන ආයතනයක එක් ජාතික භාෂාවකින් පාඨමාලාවක් පවතී නම් එම පාඨමාලාව අනෙක් ජාතික භාෂාවෙන් අධ්‍යාපනය ලබා ඇති ශිෂ්‍යයන් වෙනුවෙන් එම ජාතික භාෂාවෙන්ද පැවැත්විය යුතුය.

පරිපාලනය

සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂාවේ. උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල වේ. පුරවැසියෙකුට තමා ඉල්ලුම් කරන රාජ්‍ය භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් රාජ්‍ය ආයතන වෙතින් තම සේවා ඉටුකර ගැනීමේ හිමිකමක් ඇත.

රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේ විභාග

රාජ්‍ය සේවයට තැනැත්තෙක් ඇතුළත් කර ගැනීම සඳහා පවත්වනු ලබන විභාග සඳහා සිංහල හෝ දෙමළ හෝ තමන් තෝරාගන්නා භාෂාව හෝ මාධ්‍යකින් පෙනීසිටීමට යම් තැනැත්තෙක්ට හිමිකමක් ඇත.

නීති පැනවීමේ කාර්යය

සියලුම නීති සහ අනු නීති පැනවීම සහ එකී නීති සහ අනු නීති පළකිරීම ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් සමඟ සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම විය යුතුය.

අධිකරණ භාෂාව

ශ්‍රී ලංකාව මුළුල්ලේම අධිකරණවල භාෂාව සිංහල හා දෙමළ භාෂා වන්නේය. දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශයෙන් භාවිත කළ යුත්තේය. අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ භාෂාව ඉංග්‍රීසි වන්නේය.

අධිකරණ භාෂාව නොදන්නා පාර්ශ්වයකට රජය විසින් භාෂා පරිවර්තකයෙකුගේ සේවය ලබාදිය යුතුය.

සිදුවීම්

මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසහන

වර්තමාන පකිස්තානය අතීතයේ ඉන්දියාවේ කොටසක් වූ අතර එහි උර්දු භාෂාව භාවිත විය. 1947 දී උර්දු භාෂාව භාවිත කරන ප්‍රදේශ මුල් කරගනිමින් පකිස්ථානය බිහිවූ අතර වර්තමාන බංග්ලාදේශයද නැගෙනහිර පකිස්තානය ලෙස එහි කොටසක් විය. පකිස්ථානයේ උර්දු භාෂාව බහුලව භාවිත වූවද බංග්ලාදේශයේ බහුලව භාවිතා වූයේ බෙංගාලි භාෂාවය. පකිස්ථානය බිහිවීමත් සමග එහි නිල භාෂාව බවට උර්දු භාෂාව පත්වූ අතර වර්තමාන පකිස්ථානය යටතේ පාලනය වූ බෙංගාලයෙහි භාෂාවද උර්දු විය යුතු බව පකිස්ථාන රජය තීරණය කරන ලදී.

එම යෝජනාවට එරෙහිව බංගලාදේශ ජාතිකයන් විරෝධතා එල්ල කරන්නට විය. බෙංගාලි බස නිල භාෂාව ලෙස ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා එහි ජනයා විශාල අරඟලයක් ගෙන ගිය අතර, “බෙංගාලි භාෂා ව්‍යාපාරය” යනුවෙන් හැඳින්වෙන්නේ ද එම අරඟලයයි. එය 1952 වසරේ පෙබරවාරි 21 වැනිදා තීරණාත්මක ස්ථානයකට ළඟා වූ අතර එදින ඇතිවූ විරෝධතාවයකදී බෙංගාල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හතර දෙනෙකු පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඝාතනය වූ 1952 පෙබරවාරි 21 දිනය සිහිපත් කරමින් සෑම වර්ෂයකම එම දිනය ජාත්‍යන්තර මවු භාෂා දිනය වශයෙන් යුනෙස්කෝ සංවිධානය (UNESCO) නම් කර ඇත.

මෙම ජාත්‍යන්තර මවු භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් “මවු භාෂා භාවිතය” සම්බන්ධයෙන් 2024.02.19 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදීන් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකයන් ලෙස රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ.ඩී.කලංසූරිය මහතා, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මණ්ඩල සාමාජික- කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ මණ්ඩල සාමාජිකා - කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ආචාර්ය කවිතා රාජරත්නම් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බී.ඒ.දම්මින්ද කුමාර මහතා ද සහභාගි විය.

Feb. 19, 2024

දෙමළ භාෂා දිනය

වාර්ෂිකව ඔක්තෝබර් මාසය තුළ දෙමළ භාෂා දිනය සමරනු ලබන අතර, 2022 වර්ෂයේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් මෙම දෙමළ භාෂා දිනය අරමුණු කරගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන පාසැල් 22 ක “පාසැල් භාෂා කව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන” මූලික කරගනිමින් 2022.10.28 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ”භාෂාව සහ සමාජ සංවර්ධනය” මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ප්‍රශාන්තන් විසින් සිදුකරන ලදී.

වැඩසටහන සඳහා සහභාගි වූ පාසල්වලින් ඉදිරිපත් කරන ලද දෙමළ සංස්කෘත අංගයන්ගෙන් වැඩසටහන වර්ණවත් විය. මෙම වැඩසටහන දෙමළ සංස්කෘතිය පිළිබිඹුවන ආකාරයට සිදුකර තිබූ අතර අමුත්තන් පිළිගැනීම දෙමළ චාරිත්‍රවලට අනුකූලව සිදුකරන ලද අතර එම ස්ථානයේ සංස්කෘතික සංකේතයන් ප්‍රදර්ශනය කර තිබුණි.

Oct. 28, 2022

රාජ්‍ය භාෂා සතිය 2021 – දීප ව්‍යාප්ත පාසල් රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්

වාර්ෂිකව ජූලි මස 01 දින සිට 05 දින දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව,ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සමග ඒකාබද්ධව 2021 වර්ෂයේදී පවත්වන ලද දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟය සඳහා  පාසල් සිසු දරු දැරියන්ගෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්  රචනා 1210 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර  තිබුණි.

මෙම රචනා තරඟය, කොරෝනා වසංගත තත්ත්වයක්  රටේ පැවති කාලයක සංවිධානය කර තිබූ අවස්ථාවකදී ඒ සඳහා සිසු සිසුවියන්ගෙන්  හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මෙන්ම පාසල් ගුරුවරුන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ඉතා අගය කොට සළකමු.

විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වූ අතර එම විනිශ්චය මණ්ඩලය විශ්වවිද්‍යාලවල භාෂා පිළිබඳ විශාරදයන්ගෙන් සමන්විත විය.

රචනා නිරීක්ෂණය කිරීමේදී සිංහල මාධ්‍ය රචනා  කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි  මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ  ප්‍රධානන්වයෙන් ද, දෙමළ මාධ්‍ය රචනා කැලණිය විශ්විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවිතා රාජරත්නම්ගේ  ප්‍රධානන්වයෙන් ද ඉංග්‍රීසි මාධ්‍ය රචනා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ජී.එස් සමරවීරගේ  ප්‍රධානන්වයෙන් ද සිදුකර ජයග්‍රාහකයන් තෝරා පත්කරගන්නා ලදී.

ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන ජයග්‍රහණ හිමිකරගත් ජයග්‍රාහකයන්ට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතියේ  (NLEAP) උණුසුම් සුභපැතුම් පිරිනැමේ.

Sept. 8, 2022

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

වැදගත් සබැඳි